Tuesday 2 April 2013


බොදු බල සේනාව සහ එහි දේශපාලනය

2012 ජූලියේ ආරම්භ කොට මේ වන විට, එනම් 2013 මාර්තුව වන විට සිංහල බෞද්ධයාගේ උරුමය ආරක්ෂා කිරීමේ පරම අයිතිය,වගකීම සහ අධිකාරිය තමන් වෙත අධිපතිවාදිලෙස පවරාගෙන ඇති බොදු බල සේනාවට දේශපාලනයක් ඇත්ද? සිංහලයින් [විශේෂයෙන් අන්තර්ජාලය ඇසුරු කරන  සිංහල තරුණයින්] අතර සීග්‍රයෙන් වර්ධනය වන මුස්ලිම් විරෝධය සැලකීමේදී මෙම ප්‍රශ්නයට පිළතුරු සෙවීම පමා නොකළ යුත්තකි. ඇතැමෙක් බොදු බල සේනාව දකින්නේ කලක් තිස්සේ බොහෝ සිංහලයින්  විළිරුදාවෙන් පෙලුනු ජාතික  ව්‍යාපාරය දොරට වැඩීමක් ලෙසය. තවෙකෙකුට මොවුන් වර්ගවාදී අන්තවාදීන් කොටසකි. ඉහත කොටස් දෙකටම බොදු බල සේනාවට ඇත්තේ දේශපාලන උවමනාවක් බව හෝ බොදු බල සේනාව රාජපක්ෂලාගේ  බල ව්‍යාපෘතියේම දිගුවක් යැයි කිවහොත් විශ්වාසයට නොගන්නවා පමණක් නොව විකාරයක් ලෙස පෙනී යා හැකිය.

සංවිධානයෙහි ලේකම්වර ගලබොඩත්තේ ඥානසාර භික්ෂුව පසුගිය දින සිදුකල ප්‍රකාශයකින් මාතෘකාවට ප්‍රවේශයක් ගත හැකිය. හෙතෙම ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා හැරුණු කොට ඊළඟට සිටින සැබෑ සිංහල බෞද්ධ නායකයා ආරක්ෂක ලේකම් වරයා බැවින් ඔහු මීළඟ අනුප්‍රාප්තිකයා කිරීමට තම සංවිධානය කැපවන බවයි. මෙහි සිංහල බෞද්ධඅයිසිං තැවරුම  ඉවත් කලවිට ඇත්තේ බොදු බල සේනාවේ නග්න දේශපාලන අරමුණයි. බොදු බල සේනාවට ආරක්ෂක ලේකම් වරයාගේ නොමසුරු සහය ලැබෙන බව ප්‍රසිද්ධ රහසකි.  ආරක්ෂක අමාත්‍යංශයේ රහස් ගිණුමකින් මුදල් සැපයෙන බවට විපක්ෂය නගන චෝදනාවේ සිට ආරක්ෂක ලේකම් වරයා අතින් පැපිලියානේදී  නොබෝදා විවෘත කෙරුණු ඇකඩමිය දක්වා ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ සිද්ධි දාමයක් ඉහත සහසම්බන්දය තහවුරු කරයි.

රාජපක්ෂලා මොනම තත්වයක් යටතේ හෝ බලය අත්හැරීමට සුදානම් නැත. කෙක්කෙන් හෝ කොක්කෙන් බලය ලබාගැනීමටත් එය පවත්වාගනිමටත් උගැන්වූ මැකියාවෙල්ලිගේ කුමාරයා රාජපක්ෂලාගේ දේශපාලනයේ පරමාදර්ශයයි. ඒ සඳහා කොන්ක්‍රීට් ආශ්චර්යයේ සිට රට කරවටක් චීන ණයෙහි ගිල්ලවිමටත් ඉන් නොනැවතී වර්ගවාදය අවුස්සා මහා ජනඝාතනයක් සිදු කිරීමට සිංහලයින් පෙළඹවීම  දක්වා වූ සකලවිධ අශිෂ්ඨ උපාය උපක්‍රම භාවිතා කිරීමට නොපසුබට වෙති. තමන්ට ඇතැයි  සිතන පරමාධිකාරි බලයට අභියෝගයක් ලෙස පෙනුණු  විරුද්ධවාදීන්ගෙන් පළිගත් අලජ්ජි ස්වරූපය මේ සඳහා උදාහරණ වේ. රාජපක්ෂලා අද මුහුණ දෙන ගැටළුව වන්නේ ජිනීවා හෝ විදෙස් ණය හෝ උද්ධමනය නොව ඊළඟ පරම්පරාවට බලය උරුම කර දෙන්නේ කෙසේද යන්නයි. ඛණ්ඩනය වීමක් සිදු වුවහොත් නැවත කිසි දිනක බලයට නොපැමිණිය හැකි බව අනෙක් කාටත් වඩා හොඳින් ඔවුන් දනියි. ජනාධිපතිවරයාගේ හදිසි වියෝවකදී හෝ චන්දයකින් පරාජය වීමකදී, නාමල් කුමාරයා නිසි වයස් සපුරන තෙක් වූ ඝන්දබ්භ කාල පරාසය ආවරණය කිරීමට පවුලේ තේරීම බවට පත්ව ඇත්තේ ආරක්ෂක ලේකම් වරයා බව පෙනේ. දිය යටින් ගින්දර ගෙනයන බැසිල් යුවරජු කැපී ඇති සෙයකි. සිංහල බෞද්ධ ලේබලය යටතේ ජනප්‍රිය වූ, ඒ ඔස්සේ ජනමතය හැසිරවිය හැකි බොදු බල සේනාව වැනි අයි ආර් සී අලගු ව්‍යාපෘතියක අවශ්‍යතාවය පැන නගින්නේ මෙම බල හුවමාරුව පහසු කිරීමටත් එය සාධාරණිකරණය කිරීමටත්ය.

මෙතෙක් කලකට බොදු බල සේනාව සම්බන්දයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් විරුද්ධ මත දරන්නන් ලෙස ඉදිරිපත්ව ඇත්තේ මර්වින් සහ එස් බී වැනි ජනතාවට එපා වූ දේශපාලන හොරිකඩයන් කිහිපදෙනෙක් පමණි. විමල් සහ චම්පික [තම ජාතිවාදී ඡන්ද ගිළිහී යාමේ අවදානමක් ඇතත්] උඩගෙඩි දෙන ප්‍රතිපත්තියක සිට කටයුතු කරන විට ප්‍රගතිශිලියයි කියාගන්නා පැරණි වම, තිත්ත කසාය බිවු ගොලුවාට ඇඳ ඇත. ඔරිජිනල් ශ්‍රී.ල.නි.ප. නායකයින් සුපුරුදු ආතභුත ස්වරූපයේම පසුවෙයි. අන් සෑම අවස්ථාවකදීම මෙන්ම ජනාධිපතිවරයා මඩේ සිටවූ ඉන්න මෙන් ඍජුව සිටිමින් සිදුකල ප්‍රකාශ කිහිපය නොසලකා හැරිය යුතු තරමේ වැදගත් කමක් දරයි. මේ සියල්ලෙන් ගම්‍ය වන කාරණාව නම් බොදු බල සේනාව සම්බන්දයෙන් ආණ්ඩුවේ මතය හසුරුවන්නේ බොදු බල සේනාව හසුරුවන මහියාවෙල්ලි සහ සහෝදරයෝ සමාගම බවම නොවේද?

2010 ඡන්දයෙන් පසුව ගත වූ දිනක් පාසා රාජපක්ෂලාගේත් ආණ්ඩුවේත් ජනප්‍රියත්වය සීග්‍රයෙන් අහිමිව යමින් ඇතිබව නොරහසකි. විශේෂයෙන් යුධජයෙන් මත්ව රාජපක්ෂලාට චන්දය ප්‍රකාශ කළ මැද පංතියේ පාවෙන චන්ද අද වන විට රාජපක්ෂලාට නැත. මෙය ඉදිරි ඡන්දයකදී කොර ගසන විපක්ෂයක් තිබියදී පවා සමස්ථ ප්‍රතිපලයට බලපෑම් කළහැකි ප්‍රමාණයක ඡන්ද ගොඩකි. සේනාව සරණ ගොස් ඇති බොහෝ දෙනා සැලකීමේදී මෙසේ අපේක්ෂාභංගත්වයට පත්ව නික්ම ගිය කොටස් වේ. බොදු බල සේනාව යනු එක් පසකින් ඉස්සරහ දොරෙන් නික්ම ගිය මෙම ඡන්දදායකයින් පස්සා දොරෙන් ගෙට ගැනීමට සිදුකරන සට කපට උප්පරවැට්ටියකි. වෙනත් අකාරයකින් පවසතොත් පාවෙන ඡන්දදායකයින් රාජපක්ෂලාට බැන බැන ඡන්ද පොලට ගොස් රාජපක්ෂලාටම ඡන්දය දෙන්නන් බවට පත් කිරීමේ ව්‍යාපෘතියකි. අනෙක් පසින් සියල්ල වැරදී ගිය කලක බලහත්කාරය යොදා ගනිමින් තවදුරටත් බලයේ සිටිනුවස් ක්‍රියාවට නැගීමට නියමිත ආරක්ෂක ලේකම් වරයාගේ අභිෂේක මංගල්ලයේ දී කැන්ටබරියේ ආච්බිෂොප්ට අඳින සංවිධානය වීමේ පවිටු අරමුණින් ක්‍රියාත්මක වන්නකි. සමස්ථ විපක්ෂයත් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්නනුත් මුළු වැර යොදා සේනාවට වානා කිව යුත්තේ එබැවිනි.

බොදු බල සේනාව ජනප්‍රිය කරවීමට වර්ගවාදය යොදා ගන්නේ ඇයි? වර්ගවාදය ඉතා පහසුවෙන් වගාකලහැකි කන්න දෙකටම ගැලපෙන බෝගයකි. මෙහි කන්න දෙක නම් යුද ජය විසින් ඇතැම් සිංහලයින් තුල ඇතිකරන ලද අහංකාරත්වයත් මුස්ලිමුන් කෙරෙහි කාලාන්තරයක් තිස්සේ මතුපිටට නොපැමිණ භූගතව පැවති වෛරී ආකල්පයත්ය. මෙහි දෙවන කාරනාව සැලකීමේදී ඇතැම් මුස්ලිමුන්ගේ සහ විශේෂයෙන් මුස්ලිම් දේශපාලන නායකයින්ගේ  ක්‍රියා කලාපයන්ද ඊට බලපෑ බව කිව යුතුය. වර්ගවාදය වගා කිරීම රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කරන කල්හි ජනයාගෙන් අමන සුළුතරයක් ඊට පස සරු කර දෙයි නම් ප්‍රජා පිඩක පාලකයින්ට විශාල අස්වැන්නක් ලැබිය හැකිය. නමුත් ඒ වෙනුවෙන් වූ වන්දිය ගෙවිය යුතු වන්නේ එම අමනයින්ද ඇතුළුව සමස්ත අනාගතයට වීම ඛේදවාචකයකි.

බොදු බල සේනාවේ වෛරී සහගත ක්‍රියාවන්හි ව්‍යාප්තිය කොයි අතට හරවා බැලුවද රාජපක්ෂලාගේ අන්තයෙන් එය වින් වින් සිටුවේෂන් එකකි. බඩුමිල ඉහළ යාම නිසා හෝ සුදුඅලි  ව්‍යාපෘති හරහා රටට අහිමිවන මුදල් කන්ද නිසා හෝ මහදවල් සිදුකරන මහජන මුදල් මංකොල්ලය නිසා හෝ අද රාජපක්ෂලා කෙරෙහි නැගෙන ජන විරෝධයක් නැත. බොදු බල සේනාවේ හලාල් ජාතික ප්‍රශ්නයවිසින් මෙකි නොකී සියළු ප්‍රශ්න ජාතික වශයෙන් නොවැදගත් සේ සලකා ඉවත හෙලා ඇත. ලිඳ ලඟින් පටන් ගෙන කඩපිල හරහා අන්තර්ජාලයේ මුහුණු පොත දක්වා මුඛ්‍ය මාතෘකාව බවට පත්ව ඇත්තේ මුස්ලිම් ව්‍යාප්තවාදයයි. මේනම් ප්‍රමාණයෙන් අපාය හෝ දෙවුලොව නැතහොත් විමල් වීරවංසගෙ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය තරමේ කෙප්පයකි. විමල් වීරවංසගේ වෙබ් අඩවියට අනුව අද වන විට සමස්ත ජනගහනයෙන් බෞද්ධයන් 70.2% ක් වනවිට ඉස්ලාමය අදහන පිරිස 9.7% කි. බෞද්ධයාට අභියෝගයක් වන තරමේ ව්‍යාප්තියක් ඇති කිරීමට මෙම පිරිස 20 % ක් වත් ඉක්මවා යා යුතුය. ඒ සඳහා අවම වශයෙන් තව වසර 20 ක් වත ගතවනු ඇත. සේනාවෝ සිංහල බෞද්ධයින්ට අමුඩ ගස්සන්න දත කන්නේ මුහුද හත් ගවුවක් තිබියදීය. මෙය වසර විස්සක ව්‍යාපෘතියක් නොව ඊළඟ මැතිවරණය පන්නන තෙක් ක්‍රියාත්මක ව්‍යාපෘතියකි. ඊළඟ  මැතිවරණය අවසානයේ අමුඩ ඇඳි උදවියගේ අමුඩයද මුහුදද පශ්චාත්භාගයද රාජපක්ෂලා සතුව ඇති බව දැන ගන්නා විට බොහෝ ප්‍රමාද වැඩිය.